විල්පත්තු මායිමේ ඊට්ටිකුලමේ සිට ගෝමරණ්කඩවල දක්වා අප ආ ගමන් මඟ

ළමා දිනය වැඩසටහන 2015

2015 ඔක්තොම්බර් මස 1 දින අකුර අරඹන්නේ ළමා දිනයට සමගාමීවයි. ඒ අනුව විල්පත්තු මායිමේ පිහිටි ගමක් වන ඊට්ටිකුලම ප්‍රාථමික විද්‍යාලයේ සිඟිත්තන්ට අවශ්‍ය පාසල් උපකරණ ලබා දිමේ වැඩසටහනක් ක්‍රියාත්මක විය.

DSC_3544

2015 ඔක්තොම්බර් මස 1 දින ඇරඹි අකුර ව්‍යාපෘතිය අදට වසරක් සම්පූර්ණ කරනව. නමුත් අද අපිට සතුටු විය හැකි දිනයක් නොවන්නේ අපේ ගමන ඇරඹි ඊට්ටිකුලම ප්‍රාථමික විදුහල මේ වන විට ගුරුහිඟය නිසා වසා දමා ඇති බැවිනි. නගරයේ පාසලට යාමට තරම් වත්කමක් නොවු පවුල්වල දරුවන්ට ළඟම පාසල වැසී ගිය පුවත එක් දිනකට සිමා වූ මේ ළමා දිනයේ යළිත් අප ඉස්මතු කරන්නේ මේ සඳහා වගකිව යුතු බලධාරින්ගේ අවධානය ඊට ලක්විය යුතුව ඇති බැවිනි.

DSC_3630

 

අකුර ශිෂ්‍යත්ව වැඩසටහන

අකුර ශිෂ්‍යත්ව වැඩසටහන පසුගිය මාර්තු මස මෙම ව්‍යාපෘතිය දිවයිනේ මූල්‍යමය වශයෙන් සවියක් අවැසි සිසු දරුවන් ඉල්ලක්ක කරගෙන ආරම්භ විය. අකුර අපි මේ වන විට ඉතා කෙටි කාලයක් තුළ පාසල් සහ විශ්ව විද්‍යාල සිසුන් 11 දෙනෙක්ට මාසිකව සහාය දක්වන අතර සෘජු අනුග්‍රාහකයින් හරහා එය ක්‍රියාත්මක වේ. මෙම සටහන තබන මොහොත වන විට මුලු එකතුව රුපියල් 300,000.00කට අධික මුදලක් අකුර ශිෂ්‍යත්ව වැඩසටහ හරහා ලබා දී ඇති අතර මෙම වැඩසටහනට ලැබෙන කිසිදු මුදලක් කළමනාකරණ ගාස්තු ලෙස රදවා ගෙන නැති බව ද සතුටින් දන්වා සිටින්නෙමු.

Akura Scholarship Program

 

කෙන්ගල්ල සිසුන්ට වේදිකා නාට්‍යයක්

පාසල් දරුවන්ට සාමාන්‍ය අධ්‍යාපන කටයුතු මෙන්ම කලාව සහ සොබාදහම වැනි අංශ සඳහා යොමු කිරීම අපේ අරමුණු අතර ප්‍රධානවේ. එමනිසා කලාව සහ වේදිකා නාට්‍ය ගැන යම් දැණුමක් අවබෝදයක් ලබා දිමේ අරමුණින්, අකුර අපි කෙන්ගල්ල විද්‍යාලයේ සිසු සිවියන් 34 දෙනෙක්ට සහ ගුරුවරු 6 දෙනෙක්ට “තට්ට ගායිකාව” නාට්‍යය නැරඹීමට අවශ්‍ය පහසු කම් ලබා දෙන ලදි.

252671_10153604042583717_5013443646573607378_n

රුමේනියානු ජන්ම ලාභී ප්‍රංශ නාට්‍යකරු යූජෙන් ඉයොනෙස්කෝ ලියූ අභූතරූපී ප්‍රතිනාටකය, The Bald Soprano හි සිංහල අනුවර්තනය, තට්ට ගායිකාව “තට්ට ගායිකාව” වසර 13 කට පසු නව නිෂ්පාදනයක් ලෙසින් පසුගිය මාර්තු මස 14 දින පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ, ඉංජිනේරු පීඨයේ, ඊ.ඔ.ඊ පෙරෙයිරා රඟහලේදි සවස 6.45ට වේදිකාගත විය. එය පේරාදෙණිය විශ්ව විද්‍යාලයීය ලලිත කලා අධ්‍යයන අංශය සහ Theatre of the Melting Clock ඉදිරිපත් කිරීමකි.

 

අකුර උපදේශන වැඩසටහන (Akura Mentor Program)

නිල වශයෙන් දැනුම් දීමක් සිදු නොවුනත් මේ වන විට අප උපදේශන වැඩසටහනක් (Mentor Program) නියමු ව්‍යාපෘතියක් ලෙස දියත් කර ඇත. දැනට අකුර ශිෂ්‍යත්වයක් ලබන පාසල් සිසුවියක් සඳහා මෙරටින් උසස් අධ්‍යාපනය සඳහා එක්සත් ජනපදයට ගොස් සිටින පරිගණක ක්‍ෂේත්‍රයේ ප්‍රවීණ තරුණියක් අකුර උපදේශන වැඩටහනට දායකත්වය දැක්වීමට ඉදිරිපත් විය.තම ආචාර්ය උපාධි (PhD) පර්යේෂණයන් සමඟ කොතරම් කාර්ය බහුල වුවත් තම රටේ මෙවර අ.පො.ස උසස් පෙළ විභාගයට පෙනිසිටි අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විදුහලේ සිසුවියකට තම ඉදිරි ගමන් මඟ නිසිලෙස සැලසුම් කිරීමට ඇය කාරුණිකව ඉදිරිපත් විය. හුදෙක් මූල්‍ය අනුග්‍රහයක් තිබූ පමණින් සිසුන්ගේ ගැටලු විසදීමක් සිදු නොවන නිසා, ඔවුන්ට නිසි මඟපෙන්වීමක් ලබා දීම මෙම වැඩසටහනෙ මූලික අරමුණයි.

ඉදිරියේදි මෙම වැඩසටහන අනෙකුත් අකුර ශිෂ්‍යත්වලාභීන් සඳහාද ක්‍රියාත්මක වනු ඇත. ඉතින් ඔබත් කැමති නම් අපේ රටේ දුවෙක්ට පුතෙක්ට, නංගි කෙනෙක්ට මල්ලි කෙනෙක්ට නිසි මඟපෙන්වන්න, අදම අපට දන්වන්න.

 

හදිසි ගංවතුර තත්ත්වය

හදිසි ආපදා තත්ත්වයට මැදිහත් වීම පසුගිය මැයි මස ඇතිවු හදිසි ගංවතුර තත්ත්වය නිසා අධ්‍යාපන කටයුතු නිසි ලෙස කරගෙන යාම සඳහා බියගම මධ්‍ය මහා විද්‍යාලයේ සහ පෑලියගොඩ දේශමාන්‍ය එව්.කේ ධර්මදාස විද්‍යාලයේ සිසුන් 470 වෙනුවෙන් සතියක් තුළ උපකාර කිරීමට අකුර වටා සිටින මිතුරු ප්‍රජාව යුහුසුලු වීම ඉතා අගය කර සිටිමු.  තවත් තොරතුරු…

13340383_10209845655247768_758808851_o

 

ළමා දිනය වැඩසටහන සහ පොත් බෙදා දීම 2016

2017 වසරේ නව පාසල් වාරය සඳහා පොත් බෙදා දීම මෙවර ළමා දිනය වෙනුවෙන් අප මීට පෙර සඳහන් කළ පරිදි සූදනම් වන අතර එම පොත්බෙදා දීම 2016 ඔක්තොම්බර් මස 15 සහ 16 දෙදින ගෝමරන්කඩවල අධ්‍යාපන කලාපයේ පාසල් 4කදී සිදු වේ.

14389853_1169899413056658_145039205_n

මෙයින් මොරවැව දකුණ විද්‍යාලයේ සහ මොරවැව උතුර විද්‍යාලයේ සිසු දරුවන් සියයකට වැඩි පිරිසකට අකුර අනුග්‍රහය දක්වන අතර අනික් පාසල් දෙක සඳහා Vibes සහ LFES අනුග්‍රහය දක්වනු ලැබේ. ඉතින් විල්පත්තු මායිමේ ඊට්ටිකුලමින් ඇරඹි අපේ ගමන වරක කාලයක් ගෙවා මොරවැව ගම්මානයට පිවිසෙන නමුත් මේ ආ කෙටි ගමනේ අප ලද අත්දැකීම් සහ හිත මිතුරන්ගේ මගපෙන්වීම් ඔස්සේ තවත් ඉදිරියට ගමන් කිරීමට අප සූදානම්.

ඉදිරි පියවර…

අකුර මීළඟ පරිච්ඡේදය ලෙස සිසු දරුවන්ගේ නිර්මාණශීලිත්වය දියුණු කිරීමටත් ඔවුන්ගේ සහයෝගීත්වය වැඩි දියුණු කිරීමටත් උපකාරීවන වැඩසටහන් ආරම්භ කෙරෙනු ඇත.

 

රොබෝ තාක්ෂණ වැඩසටහන්

රොබෝ තාක්ෂණ වැඩසටහන් මාලාවේ පරිගණක ක්‍රමලේඛනය සහ ඉලෙක්ට්‍රොනික තාක්ෂණය භාවිතයෙන් සරල රොබෝවක් තැනීමට පාසල් සිසුන් හට අවැසි දැනුම මගපෙන්වීම මෙම වැඩසටහන හරහා සිදු වේ. පාසල් අධ්‍යාපනයෙන් පසුව ත්‍රී රෝද රථ පැදවිමේන් තම ආර්ථිකය ගොඩ නගා ගැනීමේ වැරදි සිහිනයක සිටින දරුවන්ට තමන්ගේ නිර්මාණශීලී හැකියාවන් දියුණු කරගැනීමත් රටට ඵලදායි ශ්‍රම දායකත්වයක් ලබා දීමට ඔවුන් දිරිමත් කිරීමත් අකුර රොබෝ තාක්ෂණ වැඩසටහන් මාලාවේ ඉලක්කය වේ.

14522521_1591528224483922_792041229_o

මෙහි පළමු වැඩසටහන 2016 ඔක්තෝම්බර් මස 3 දින මහනුවර දිස්ත්‍රික්කයේ, වත්තේගම අධ්‍යාපන කලාපයේ, කේන්ගල්ල නවෝද්‍යා පාසලින් ආරම්භ වනු ඇත. 

මෙම වැඩසටහන් මාලාව දෙදින වැඩසටහන් ලෙස ඉදිරියේදි අනුරාධපුර ස්වර්ණපාලි බාලිකා විද්‍යාලය, ගාල්ල කලහේ ශ්‍රී සුමංගලෝදය විද්‍යාලය ඇතුලු පාසල් 5ක පළමු වටයේදි ආරම්ඹ වන වේ. තවද පළමු වටයේ පාසල් වෙත මෙම වැඩසටහනට අදාල ක්‍රියාකාරකම් පුහුණු වීමටත්, සිසුන්ට නව නිර්මාණයන් අත්හදා බැලීමටත් වැඩසටහනේදි භාවිත වන සියලුම ඉලෙක්ට්‍රොනික උපාංග ඇතුලත් අධ්‍යාපනික කට්ටලයක් නොමිලේ ලබා දෙනු ඇත. මෙම වැඩසටහන් මාලාව සචිත්‍ර විශ්මාල් සහ රුවන්ත පුෂ්පික විසින් මෙහෙයවනු ලැබේ.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: