එන්නතක් කියන්නෙ කුමක්ද ? එය ක්‍රියාකරන්නෙ කෙසේද ?

අපි ජීවත් වන පරිසරය හරිම විවිධාකාරයි. එහි ඇසට පෙනෙන මෙන්ම නොපෙනෙන ජීවීන් ද මිලියන ගණනක් ඉන්නවා. මේ ජීවින් අතර අපට හිතකර මෙන්ම අහිතකර ජීවීන් ද ඉන්නවා. මේ අහිතකර ජීවීන් තමයි අපට රෝග බෝ කරන්නෙ. මේ රෝගකාරක ජීවීන් අපේ ශරීරවලට විවිධාකාර අන්දමින් ඇතුල් වෙන්න පුළුවනි. මේ විෂබීජ බැක්ටීරියාවක්, වෛරසයක්, පරපෝෂතයෙකු  හෝ දිලීරයක් විය හැකියි. එසේම මේ රෝගකාරකයන් විවිධාකාර උප කොටස් වලින් සමන්විත වන අතර, ඒ ඒ රෝගකාරකයන් ඒ ඒ රෝගයට විශේෂිත වනවා.

උදාහරණයක් විදියට ඩෙංගු රෝගය බෝ කරන වෛරසය අපට වැළඳෙන්නේ ඩෙංගු මදුරුවා විසින් රෝගියෙක් දෂ්ඨ කළ පසු මදුරුවාගේ සිරුරට ඇතුළු වන වෛරසය එම මදුරුවා නීරෝගී පුද්ගලයෙකුට දෂ්ඨ කිරීමේදී ඇඟට ඇතුළු වනවා. ජලභීතිකාව ඇති කරන වෛරසය ඇතුළු වන්නේ ජලභීතිකාව වැළඳී ඇති සතෙකුගේ ඛෙටය වෙනත් පුද්ගලයෙකුගේ ශරීරයේ ඇති තුවාලයක් හරහා ඇඟට ඇතුළු වීමෙන්. සෙම්ප්‍රතිශ්‍යාව රෝගී අයෙකුගේ කෙළ, සොටු වැනි ශ්‍රාවයක් නිරෝගී අයෙකුගේ මුඛය, නාසය හරහා ඇඟට ඇතුළු වන්නට පුළුවනි. ඒඩ්ස් වැනි රෝගයක්, රෝගියෙකුගේ තරළ හරහා නිරෝගී කෙනෙකුට ඇතුළු වීමට පුළුවන්. මේ ආකාරයට මේ විෂබීජ අපේ සිරුරට විවිධාකාරව ඇතුළු විය හැකියි.

නමුත් මේ විෂබීජ ඇතුළු වීම වැලැක්වීමට අපේ සිරුරුවල ප්‍රාථමික ආරක්ෂණ පද්ධතියක් සහ ද්විතීයික ආරක්ෂණ පද්ධතියක් පිහිටා තිබෙනවා. ප්‍රාථමික ආරක්ෂණ පද්ධතිය වන්නේ අපේ සිරුර පිටත පරිසරයට නිරාවරණය වන පෘෂ්ඨ වනවා. සම, සහ අපේ සිරුර පුරා ඇති නව දොර (දෑස්, නාසා, කන්, මුඛය, මුත්‍ර මාර්ගය සහ ගුද මාර්ගය) මගින් මේ අපේ සිරුර පිටතට විවෘත වනවා. මේ හැම තැනකම ආරක්ෂණ පද්ධතියක් ක්‍රියාත්මකයි. තුවාලයක් නොවූ සම හරහා විෂබීජ වලට ඇතුළු වීමට පහසු නැහැ. එහි ස්ථර ගණනාවක් ඇති අතර සම හරහා විෂබීජයක් යාමට ඇති අවස්ථාව හරිම අඩුයි. අන් සියළුම විවරයන්හි ශ්ලේෂ්මල, කපාට සහ සිලියා නම් අන්වීක්ෂීය කෙස් වැනි ව්‍යුහයන් විසින් ආගන්තුක විශබීජ වලකා ලනවා. එසේ නමුත්, මේ සියල්ලම පරදවා ශරීරයට ඇතුළු වන විෂබීජ අනන්තවත් තිබෙනවා. මේ විෂබීජ සමග සටන් වැදී පරාජය කිරීමට අපේ ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියා කරනවා. මෙහිදී ශරීරය විසින් මේ විෂබීජවල රෝගකාරක කොටසට එරෙහිව ප්‍රතිදේහ නිපදවනවා. මේ ප්‍රතිදේහ තමයි සටන් වදින සොල්දාදුවො වෙන්නේ. රෝගයක් වැළඳුනවිට නිපදවෙන මේ සොල්දාදුවන් විසින් තනන මතක සෛල අපේ සිරුරේ සැඟවී සිටිනවා. අවශ්‍ය විටෙක ක්‍රියාත්මක වන්න. මේ නිසා නැවත රෝගය වැළඳීම සෑහෙන දුරට අවම වෙනවා. නමුත් අළුතින් රෝගයක් වැළඳුනාම එයට අවශ්‍ය ප්‍රතිදේහ සිරුරේ නැහැ. මේ නිසා නව ප්‍රතිදේහ සෑදිය යුතුයි, එයට යම් කාලයක් ගත වනවා. මේ නිසා සටන ටික දිනක් දිගු වනවා. මේ සටනින් විෂබීජය ජයග්‍රහණය කරන විට අපට රෝගය බෝවීම සිදු වනවා. මේ සටන නිසා අපේ සිරුරේ උෂ්ණත්වය ඉහළ යනවා. මේ නිසා තමයි අපට යම් රෝගයක් වැළඳීමට පෙර උණ ගැනීමක් සිදු වන්නෙ. ඒ නිසා කිසියම් ප්‍රතිදේහයක් සිරුර තුළ නිර්මාණය වී ඇති කෙනකුට එම රෝගය නැවත වැළඳුනහොත් ප්‍රතිශක්තිකරණ පද්ධතිය ක්‍රියාත්මක වී වහාම එය මර්ධනය කරනවා.

 

නමුත් මේ සටනින් ජය ගන්නා විෂබීජ ඉන්පසු අපේ විවිධ අවයව වලට බලපෑම් ඇති කරනවා. ඒ නිසා අපේ අවයව ද්විතීයික ආක්‍රමණයකින් අඩපණ වනවා. එවිට අපි දුර්වල වීම සහ අවසානයේ  මරණයට පත් වනවා.

 

රෝග මර්ධනයට එන්නත් උපකාර වන්නේ කෙසේද ?

මෙම එන්නත් තුළ ඒ ඒ විශේෂිත රෝගය ඇති කරන ජීවියෙකුගේ දුර්වල කළ හෝ අක්‍රීය කළ වෛරස කොටස් (ප්‍රතිදේහජනක) අඩංගු වනවා. එසේම මේ නව එන්නත් තුළ ප්‍රතිදේහජනකයටත් වඩා එම ප්‍රතිදේහජනක නිපදවීමට අවශ්‍ය  මූළික සැලැස්ම ද ඇතුලත් කර තිබෙනවා. මේ නිසා එන්නත ලබා දුන් පසුව සිරුර තුළ අදාල රෝගයට එරෙහි ප්‍රතිදේහ නිපදවෙන අතර පසුව රෝගය වැළඳීම කරන විෂබීජ සිරුර ආක්‍රමණය කළ විට එම ප්‍රතිදේහ පහසුවෙන්ම විෂබීජ හා සටන් කර ඒවා විනාශ කර දමා රෝගය වැලඳීම වලක්වනවා.

සමහර රෝග සඳහා එක් එන්නතකින් ප්‍රතිශක්තිකරණය ලබා ගැනීමට නොහැකි වනවා. උදාහරණයක් ලෙස ජලභීතිකාව සඳහා එන්නත දින කීපයක්, සති කීපයක් සහ මාසයක් යන ආකාරයෙන් ලබා දිය යුතුයි. ඒ සිදු කරන්නේ ඒ එන්නත් වාර ලබා දීම මගින් ශරීරය ක්‍රමාණුකූලව රෝගකාරක ජීවියාට එරෙහිව සටන් කිරීමට පුරුදු පුහුණු කිරීමයි.

 

සමූහ ප්‍රතිශක්තිය (Herd Immunity)

ලෝකය පුරා මිනිසුන් බිලියන 7.8 ක් ජීවත් වනවා. දැන් ලෝකය පුරා පැතිර යන කොරෝනා වෛරසය නිසා එයට එරෙහිව දැන් දැන් නිෂ්පාදනය වන ප්‍රතිදේහජනක අඩංගු එන්නත් මේ හැම දෙනාටම ලබා දීමට නොහැකියි. එය නිෂ්පාදන සීමාවන්, සහ ආර්ථික දුෂ්කරතාවයන් නිසා එය හැමටම ලබාදීමට නොහැකි වනවා. ඒ වගේම සමහරුන්ට  පවතින විවිධාකාර සංකූලතා නිසා මේ එන්නත් සෑම දෙනාටම ලබා දීමට නොහැකි වනවා. නමුත් මේ අය එන්නත් ලබා දුන් පුද්ගලයින් අතර ජීවත් වන අය සමග ජීවත් වන්නේ නම්, ඔවුන්ට ඒ අවශ්‍ය ප්‍රතිශක්තිකරණය ලබා දීමට පුළුවනි. ප්‍රජාවක බොහෝ දෙනෙකුට එන්නත ලබා දුන් පසු, රෝගය සංසරණය වීම අපහසු වනවා. ඒ බොහෝ දෙනා රෝගයට ප්‍රතිශක්තිකරණයක් දක්වන නිසා රෝගය පැතිර නොයාම නිසා. මේ නිසා ප්‍රජාවක වැඩි ප්‍රමාණයක් දෙනාට එන්නත ලබා දුන් පසු අනෙක් පුද්ගලයින් නිරායාසයෙන්ම ප්‍රතිශක්තිරණයට ලක් වනවා.

මේ නිසා මෙය විශේෂයෙන්ම වැදගත් වන්නේ එන්නත ලබාගත නොහැකි අයට පමණක් නොවෙයි. ඒ රෝගයන් වලට ගොදුරු වීමේ අවදානම වැඩි අයටයි. කිසිම එන්නතක් සමාජයකට 100% ක පූර්ණ ආරක්ෂාවක් ලබා දීම සිදු වන්නේ නැහැ. නමුත් වැඩි පිරිසක් එන්නත ලබා ගැනීම හරහා අන්නත ලබා ගත නොහැකි අය ද රංචු ප්‍රතිශක්තිය මගින් ආරක්ෂා වනවා.

ලෝක ඉතිහාසය පුරාම විද්‍යාඥයින් මෙනින්ජයිටිස්, පිටගැස්ම, සරම්ප, පෝලියෝ වැනි ජීවිත තර්ජන ඇති කරන රෝග ගණනාව් සඳහා එන්නත් නිපදවා තිබෙනවා. ඒ අනුව විවිධ රෝග සම්පූර්ණයෙන්ම සමාජයෙන් තුරන් කිරීම සිදු කර තිබෙනවා. උදාහරණයක් ලෙස 1900 ගණන්වල මුල් භාගයේ ව්‍යාප්ත වූ පෝලියෝ රෝගය 1980 වන විට ලෝකයෙන් තුරන් කිරීමේ උත්සාහයේ ප්‍රතිඵලයක් වශයෙන්,2020 අගෝස්තු වන විට අප්‍රිකානු මහාද්වීපයෙන් ඉවත් කිරීමට හැකි වුනා.

මේ ආකාරයෙන් විද්‍යාව තාක්ෂණය දියුණු වීමේ ප්‍රතිඵලයක් විදියට මිනිසුන්ගේ ජීවිත පහසු වීම සහ රෝග වලට ඔරොත්තු දීමේ හැකියාව වැඩි වී ජීවිත කාලය දිගු වීම සිදු වුනා

එන්නත් පර්යේෂණ – නිෂ්පාදනය සිදු කරන්නේ කෙසේද යන්න පසු ලිපියකින් සාකච්ඡා කරමු.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: