එන්නතක් යනු කුමක්ද ? එහි පර්යේෂණ-සංවර්ධන ක්‍රියාවලිය සහ අප වෙතට එන්නේ කෙසේද ?

 

 

පෙර ලිපියක සඳහන් කළ පරිදි විවිධාකාර රෝග වැළඳුන පසුව හෝ වැළඳීමට ප්‍රථම අපි අපේ ශරීරයට ප්‍රතිදේහ එන්නත් කරවා ගන්නවා.  

එන්නතක අඩංගු වන්නේ මොනවාද ?

එන්නතක සාමාන්‍යයෙන් රෝගකාරක ජීවියාගේ අඩපණ කළ ජීව කොටස් හෝ එම ප්‍රතිදේහ සෑදීමට අවශ්‍ය සැලැස්ම ඇතුලත් කර තිබෙනවා. එසේම එන්නත දිගුකල් ආරක්ෂාකාරීව තබාගෙන යාමට, සහ ලාභදායි ලෙස පවත්වාගෙන යාමට විවිධාකාර වෙනත් අමුද්‍රව්‍ය යොදාගනු ලබනවා.

මෙම එන්නත්වල අඩංගු මෙම සංරචක ඒ ඒ රෝගයට සහ ඒ ඒ එන්නතට අදාල කිසියම් කාර්යයක් ඉටු කරනවා.

ප්‍රතිදේහජනක (Antigen)

සාමාන්‍යයෙන් සියළුම එන්නත්වල රෝගයකට ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරයක් ජනනය කරන ක්‍රියාකාරී ප්‍රතිදේහජනක සංඝඨකයක් හෝ එම සංඝඨකය ශරීරය තුළ නිෂ්පාදනය කිරීමට අවශ්‍ය මූලික සැලැස්ම අන්තර්ගත කර ඇත. මෙම ප්‍රතිදේහජනක පෙර කියූ පරිදිම ක්‍ෂුද්‍රජීවියාගේ ශරීරයේ කොටසක් හෝ අක්‍රීය කළ සම්පූර්ණ ක්‍ෂුද්‍රජීවියා අඩංගුව තිබිය හැක.

 

කල්තබා ගැනීමේ ද්‍රව්‍ය (Preservatives)

එන්නතක් සාමාන්‍යයෙන් එක් කුප්පියක් එක් පුද්ගලයෙකු සඳහා භාවිත කරන අතර තවත් සමහර එන්නත් කුප්පියක් පුද්ගලයින් කිහිප දෙනෙකුට භාවිතා කළ හැකිය. එසේ පුද්ගලයින් කිහිප දෙනෙකු සඳහා භාවිත කිරීමේදී එන්නත සඳහා කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එකතු කළ යුතු අතර, සාමාන්‍ය එන්නත් සඳහා වුවද, නිෂ්පාදනය සහ භාවිත කිරීම අතර කාලය වැඩි නම්, කල්තබා ගැනීමේ ද්‍රව්‍ය එක් කළ යුතුය. මේ සඳහා බහුලව භාවිතා කරන රසායනිකය වන්නේ 2-Phenoxyethanol වන අතර එය වසර ගණනාවක් තිස්සේ විශාල එන්නත් වර්ග පරාසයක භාවිත කර, එම රසායනිකය මිනිසුන්ට අහිතකර නොවන බවට සනාථ කරගෙන ඇත.

 

ස්ථායීකාරක (Stabilizers)

ස්ථායීකාරක මගින් සිදු කරනුයේ එන්නත තුළ රසායනික ප්‍රතික්‍රියා ඇතිවීම වැලැක්වීම සහ එන්නතෙහි අඩංගු ක්‍රියාකාරී සංයෝග එන්නත් කුප්පියෙහි බිත්තිවලට ඇලීම වැලැක්වීමයි. මෙම ස්ථායීකාරක ලෙස සීනි වර්ග (ලැක්ටෝස්, සුක්‍රෝස්) ඇමයිනෝ අම්ල (ග්ලයිසීන්) ජෙලටින් සහ යීස්ට් වලින් ව්‍යුත්පන්න කරගත් මානව ඇල්බියුමීන් වැනි ප්‍රෝටීන සංඝඨක ඇතුලත් විය හැකියි.

 

මිශ්‍රකාරක (Surfactants)  අන්තර් මාධ්‍ය තරලය

එන්නතක් බොහෝ දුරට ජලීය මාධ්‍යයේ සැකසුවද, එහි ඇති කාබනික සහ ජීව කාබනික සංඝඨක ජලයේ ද්‍රාව්‍ය වීම අඩු විය හැකි නිසා ශරීරයට අහිතකර නොවන මිශ්‍රකාරක සංයෝග එකතු කරනු ලබයි. මේවා රූපලාවන්‍ය ආලේපන, අයිස්ක්‍රීම් වැනි දෑ වලද මාධ්‍යය නිසි පදමට තබා ගැනීමට භාවිතා කරන සංයෝග වේ. එයින් කිසිදු හානියක් සිරුරට සිදු නොවේ.

 

අවශේෂ ද්‍රව්‍ය (Residuals)

එන්නත නිෂ්පාදනයේදී මූලික අමුද්‍රව්‍ය වලට අමතරව එන්නතෙහි ක්‍රියාකාරීත්වයට සහ ස්ථායීතාවයට උදව් වන තවත් සුළු ප්‍රමාණයක විවිධ සංයෝග අන්තර්ගත කළ හැකිය. එය සමහරවිට බිත්තර ප්‍රෝටීන, යීස්ට් වල අඩංගු ද්‍රව්‍ය, ප්‍රතිජීවක සංයෝග වැනි දෑ විය හැකි අතර මේ ද්‍රව්‍ය එන්නතෙහි කොටස් බිලියනයකට එකක් වැනි නොගිනිය හැකි තරම් ප්‍රමාණයක් එකතු කර තිබේ.

 

තනුක කාරක (Diluents)

 

එන්නත් භාවිතයට පෙර නිවැරදි මාත්‍රාවට තනුක කිරීමට භාවිත වන ද්‍රවයයි. එය බොහෝවිට විෂබීජ හරණය කළ ආස්‍රැත ජලය විය හැකිය.

 

අතිරේක සහායක ද්‍රව්‍ය (Adjuvant)

සමහර එන්නත්වල සහායක ද්‍රව්‍ය අන්තර්ගත කර ඇත. මෙමගින් එන්නත ලබාදුන් පසු ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාරය වැඩිදියුණු කරයි. එය එන්නත ශරීරයට එන්නත් කළ පසු ඒ ස්ථානයේ ද්‍රවය තරමක් දුරට රඳවා තබා ගැනීමෙන් ඒ අවට වූ ප්‍රතිශක්තිකරණ සෛල උත්තේජනය කිරීම මගින් සිදු කරයි. මේ සඳහා ඇලුමිනියම් පොස්ෆේට්, ඇලුමිනියම් හයිඩ්‍රොක්සයිඩ් හෝ පොටෑසියම් ඇලුමිනියම් සල්ෆේට් වැනි ශරීරයට අහිතකර නොවන ඇලුමිනියම් ලවණ ඉතාමත් සුළු ප්‍රමාණයක් විය හැකිය.

 

එන්නතක් නිපදවන්නේ කෙසේද ?

1796 දී එඩ්වඩ් ජෙනර් විසින් පළමුවරට වසූරිය එන්නත නිපදවූ දා පටන් අද දක්වා ලොවට විවිධාකාර එන්නත් බිලියන ගණනාවක් විවිධාකාර සමාගම්, පුද්ගලයින් සහ විද්‍යාඥයින් විසින් එළිදක්වා තිබෙනවා. ඒ එන්නත් සියල්ලම ඉතාමත් ආරක්ෂාකාරීව නිපදවන අතර කලාතුරකින් පුද්ගලයින්ගේ සිරුරු වල ඇති සංකූලතා නිසා ඔවුන් ආසාත්මිකතාවයන්ට පත්වීම හෝ මිය යාම සිදු වනවා.

මේ නිසා සෑම රටක්ම සිය ජනතාවට එන්නත් ලබාදීමට පෙර දැඩි ආරක්ෂණ ක්‍රමවේද අනුගමනය කරමින් පුළුල් පරීක්ෂාවකට භාජනය කරනවා.

පර්යේෂණ කරනු ලබන සෑම එන්නතක්ම අදාල රෝගයට ප්‍රතිචාර දැක්වීමට කුමන ප්‍රතිදේහජනක භාවිත කළ යුතුද යන්න විශාල ප්‍රමාණයක පරීක්ෂණ සිදු කරනු ලබනවා. මෙම පූර්ව අවධිය සිදු කරන්නේ රසායනික ගණනය කිරීම්, අදාල ප්‍රතිදේහ සහ ප්‍රතිදේහජනක වල ත්‍රිමාණ ආකෘති ඉතාමත් සුපරීක්ෂාකාරීව ගැලපීම ආදිය පරිඝණක ආකෘති සමාකරණයට (Computer Simulation) භාජනය කිරීමෙන් සහ ඉන්පසු තෝරා ගන්නා විවිධ සංයෝග නැවත නැවතත් මේ ආකාරයට පරීක්ෂණ වලට භාජනය කර අදාල රෝගයට අදාල නියම ප්‍රතිදේහජනක සහ එම සැලසුම් මේ යැයි තහවුරු කර ගැනීමෙන් පසුවයි.

 

පළමු අදියර

ඉන්පසු නිෂ්පාදනය කෙරෙන සාම්පල, ප්‍රතිශක්තිකරණ ප්‍රතිචාර උත්තේජනය කරන්නේදැයි නැවතත් විද්‍යාගාර පරීක්ෂණ මගින් තහවුරු කර ගනු ලබනවා. මේ සඳහා සමහරවිට මාස ගණනක් හෝ අවුරුදු ගණනක් ගතවිය හැකියි. මෙසේ තහවුරු කර ගත් එන්නත් සාම්පල මුලින් මීයන්ට, හාවන්ට සහ වඳුරන්ට විදීමෙන් තවදුරටත් පරීක්ෂා කර, ඉන්පසු තෝරාගත් වැඩිහිටි, සෞඛ්‍ය සම්පන්න ස්වේච්ඡා සේවකයින්  හරහා ක්‍රම ක්‍රමයෙන් මිනිස් සිරුරට හිතකර/අහිතකර භාවය පරීක්ෂා කරනු ලබයි.

 

 

දෙවන අදියර

ඉන්පසු එහි ආරක්ෂාව සහ ප්‍රතිශක්තිකරණ හැකියාව පරීක්ෂා කිරීමට එන්නත පුද්ගලයින් සිය ගණනක නියැදියකට ලබා දී පරීක්ෂා කරනු ලබයි. සාමාන්‍යයෙන් එන්නතක් ලොව සෑම මිනිස් කොට්ඨාසයටම එක ලෙස ප්‍රතිචාර නොදක්වයි. මේ නිසා වයස, ස්ත්‍රී පුරුෂ භාවය, රෝගියාට ඇති වෙනත් රෝගාබාධ, ආසාත්මිකතා වැනි පොදු කාරණා මෙන්ම, සමහරවිට ජනවර්ගය, ජීවත් වන ප්‍රදේශය, වැනි සංකීර්ණ කාරණා අනුව ද බලපෑම වෙනස් වේ. දීර්ඝකාලීන එන්නත් පර්යේෂණ වලදී විවිධ රටවලින් පවා සාම්පල භාවිතා කර ඔවුනට ඇති බලපෑම පරීක්ෂා කරනු ලබයි.

එහිදී විවිධ වයස් කාණ්ඩ, විවිධ ජන වර්ගයන් ආදී විශාල විචල්‍යයන් සංඛ්‍යාවක් භාවිතා කිරීමත්, පාලිත නියැදියක් භාවිත කර එහි වෙනස්කම් නිසි ලෙස ඇගයීමත් දෙවන අදියරේදී සිදු කරයි.

 

තුන්වන අදියර

මෙම අදියරේදී ස්වේච්ඡා සේවකයින් දහස් ගණනකට එන්නත ලබාදී පෙර පරිදිම විශාල විචල්‍යයන් සංඛ්‍යාවක් හරහා එන්නතෙහි විවිධාකාර ආචරණ, සංකූලතා සහ ඵලදායීත්වය විශ්ලේෂණය කරනු ලැබේ. ඉන්පසු එය අදාල පිරිවිතරයන්ට අදාලද, ඒවා ලෝක සෞඛ්‍ය සංවිධානයේ නීති රීති සහ පරිමාණයන්ට අනුකූලද යන්න සහ එම එන්නතෙහි බුද්ධිමය දේපල අයිතිය, ආදී සියළු නීතිමය සහ සහතික කිරීම් සිදු කරනු ලැබේ.

ඉන්පසු එය අදාල රටවල බලධාරීන් හරහා ජාතික ප්‍රතිශක්තිකරණ වැඩපිළිවෙලට ඇතුළත් කරන අතර ඒ ඒ රටෙහි විද්‍යාඥයින් සහ විශේෂඥයින් පිරිසක් ඒ පිළිබඳ තාක්ෂණික විශ්ලේෂණ සිදු කර සාම්පල ලබාගෙන තෝරාගත් පිරිසකට එන්නත් කිරීමෙන් තම ජනතාවගේ සිරුරු කෙසේ ප්‍රතිචාර දක්වයිද යන්න විශ්ලේෂණය කරනු ලැබේ. එය බහුතරයකට ආරක්ෂිත බව තහවුරු කර ගැනීමෙන් අනතුරුව රටවැසියාට ලබා දීම සඳහා අනුමැතිය ලබා දේ.

 

ඉන්පසු ඒ ඒ නිෂ්පාදකයා හෝ නිෂ්පාදිත රටවලට මේ දත්ත නිතිපතා සැපයීමෙන් මේ එන්නතෙහි ඵලදායීතාවය, සහ සංකූලතා, මරණ ආදියෙහි සංඛ්‍යාත්මක දත්ත විශ්ලේෂණයට ඉඩ සැලසේ. ඒ අනුව ඉදිරියේදී සකසන එම එන්නතෙහි නව නිෂ්පාදනයන් කෙසේ වෙනස්විය යුතුද යන්න එම විද්‍යාඥයින් විසින් නිරන්තරයෙන්ම අධ්‍යයනය කිරීම මගින් රෝගයක වෙනත් ප්‍රභේද පැමිණියද, ඒවාට අදාල වෙනස් කිරීම් පහසුවෙන් සහ ඉතා කඩිනමින් කිරීමේ හැකියාව විද්‍යාඥයින්ට ලැබේ.

 

සාමාන්‍යයෙන් එන්නතක සොයා ගැනීම මේ ආකාරයෙන් සිදු වන අතර, විශේෂිත තත්ත්වයන් යටතේ සුළු සුළු වෙනස්වීම් සිදු විය හැකිය.

 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: