අළුත් බැඳීමක්
බැඳීම් කියන්නෙ අපේ ජීවිතයට අමුතු දේවල් නොවෙයි.. උපදින්නටත් ඉස්සර පටන් ගන්න බැඳීම් මැරිලා අවුරුදු ගණනක් ගියත් අඩුවැඩි වශයෙන් තියෙනවා. ඒ මානුෂීය බැඳීම්. මේ මිනිස්සු හැදිලා තියෙන්නේ පරමාණු – අණු එකතු වෙලාම තමයි. ඒ නිසාම මේ මිනිස්සුන්ගේ වගේ තියෙන බැඳීම් පරමාණු-අණු වලත් තියෙනවා. එහෙමත් නැතිනම්, පරමාණු – අණු වල තියෙන බැඳීම් මිනිස්සුන්ටත් ඇවිත් තියෙනවා.
උදාහරණයක් වශයෙන් ගත්තොත් පිරිමි ලමයෙක් සහ ගැහැණු ළමයෙක් අතර ඇති බැඳීම ගනිමු. මේ බැඳීම ශක්තිමත් නම්, තවත් කෙනෙකුට ඒ බැඳීම බිඳ දමන්න බැහැ. නමුත් ඒ බැඳීමට වඩා වැඩි බැඳීමක් ඒ දෙදෙනාගෙන් කෙනෙකුට තවත් කෙනෙකු හා ඇති වුනොත් අර මුලින් කියූ බැඳීම බිඳ වැටෙනවා. මේකට රසායන විද්‍යාවේ නම් Substitution Reaction කියලා කියනවා. ඒකත් එ් වගේම වෙන දෙයක්.
(Image: © Louise Docker, Wikimedia Commons/CC BY 2.0)
ලෝකය වෙනස් වන විට අලුත් දේවල් හොයා ගන්නවා. අපි දන්නවා රසායනික බන්ධන ගත්තොත්
- අයනික බන්ධන – ලුණු වල තියෙන්නෙ… ඒවා.
- සහ සංයුජ බන්ධන – කාබනික ද්‍රව්‍ය වල තියෙන ඒවා.
- දායක බන්ධන – වැඩිපුර තියෙන ඉලෙක්ට්‍රෝණ දෙකක් අඩු කෙනෙකුට දීලා හදාගන්න බන්ධන
- ලෝහක බන්ධන – ලෝහවල ඇති පරමාණු සහ ඒවා ගිලී ඇති ඉලෙක්ට්‍රෝණ සයුර එකතු වී හැදෙන බන්ධන
- හයිඩ්‍රජන් බන්ධන – N, O, F වැනි විද්‍යුුත් ඍණතාවය වැඩි පරමාණුවකට බන්ධනය වෙලා තියෙන හයිඩ්‍රජන් පරමාණුවක් තවත් විද්‍යුුත් ඍණතාවය වැඩි පරමාණුවකට බැඳෙන තාවකාලික බන්ධනය – ජලයේ තියෙන්නෙ ඒවා. ඒ නිසයි ජලය ද්‍රවයක් විදියට තියෙන්නෙ
- වැන්ඩවාල් බල – වායු අණු අතර ඇති ලිිහල් බන්ධන
වශයෙන් සරළව නම් කරන්න පුළුවනි. ඒ වගේම පරමාණුවක් අතර ඇති බන්ධන ගණන වැඩි වන්නට ඒ පරමාණු අතර ඇති බැඳීම වැඩි වනවා. ඒ නිසා තමයි නයිට්‍රජන් අණුවක් පරමාණු බවට පත් කරන්න අපහසු. නයිට්‍රජන් පරමාණු දෙකක් අතර බන්ධන තුනක් තියෙනවා. ඒක ලේසියෙන් කඩා ගන්න පුළුවන් නම්, අපට බොහොම අඩු මිලට යූරියා පොහොර හදාගන්න පුළුවනි. තවත් රසායනික ද්‍රව්‍ය රාශියක් හදාගන්න පුළුවනි. ඒ වගේම ඒ බන්ධනය ශක්තිමත් නිසාම ලෝකය ගිණි ගන්න එකත් නතර වෙලා තියෙනවා. වායුගෝලයේ 78% ක් ඇති නයිට්‍රජන් පහසුවෙන් කැඩිලා පරමාණු බවට පත් වුනොත් සමහරවිට ජීවය පවතින එකකුත් නෑ..
මේ බන්ධන අතරට අපි නොදන්නා බන්ධන බොහොමයක් ඇති.
විද්‍යාඥයින් අළුතින්ම තවත් බන්ධන වර්ගයක් සොයාගෙන. සමහර ප්‍රතික්‍රියා එකවර සිදු වන්නේ නෑ.. ඒවා සිදු වන්නේ අතරමැදි අවස්ථා හරහා. මේ අතරමැදි අවස්ථා හරියට අපේ ගන්ධබ්බ අවධීන් වගේ. හරිම කෙටි කාලීනයි… විද්‍යාඥයින් මේ අතරමැදි අවස්ථා පිළිබඳ කරන ලද පර්යේෂණයකින් මේ ගන්ධබ්බ අවධීන් වැඩි කාලයක් පවත්වාගෙන යන්න කටයුතු කරලා තිබෙනවා. ඒ අනුව මේ අතරමැදි අවස්ථාවල ඇතිවන බන්ධන පිළිබඳ සොයා බැලීමේ අවස්ථාව ඔවුන් උදාකරගෙන තිබෙනවා. හයිඩ්‍රජන් ෆ්ලෝරයිඩ් කියන්නේ ඉතාමත් ක්‍රියාකාරී අම්ලයක්, වීදුරුවල රටා අඳින්න භාවිතා කරන මේ අම්ලය අපේ ඇඟට වැටුනොත් ඇට මිදුළු දක්වාම ගමන් කරලා මරණය ලඟා කර දෙන තරමේ ප්‍රබල අම්ලයක්. මේ නිසාම මේ අම්ලය භාවිතා කිරීමට සුවිශේෂී පුහුණුවක් පවා පිටරටවල නම් දෙනවා.
මේ අම්ලයේ ප්‍රබල සහසංයුජ බන්ධන සහ හයිඩ්‍රජන් බන්ධන තිබෙනවා. මෙහිදී වන්නේ එක් හයිඩ්‍රජන් පරමාණුවක් ෆ්ලුවොරීන් පරමාණු දෙකක් අතර දෝලනය වෙමින් හයිඩ්‍රජන් බන්ධනයක් සහ සහසංයුජ බන්ධනයක් හදාගෙන ඔබගෙන්දෝ ඔහුගෙන් දෝ මා හෙට දින සමුගන්නේ කිය කියා හිත හිත ඉන්නවා. විද්‍යාඥයින් මේ හයිඩ්‍රජන් ෆ්ලුවොරයිඩ් අම්ලය ජලය හා මුසු කරලා මේ අතරමැදි අවස්ථාව තරමක් දිගු කරලා බලලා තියෙනවා. එවිට ඔවුන් දැක ඇත්තේ මේ අතරමං වුන හයිඩ්‍රජන් පරමාණුව ෆ්ලුවොරීන් පරමාණ දෙකක් අතරේ සහසංයුජ බන්ධනයක් සහ සාමාන්‍ය හයිඩ්‍රජන් බන්ධනයකට වඩා දැඩි බන්ධනයක් සාදා ගන්නා ආකාරයයි. සාමාන්‍යයෙන් නයිට්‍රජන් අණුවක සහසංයුජ බන්ධන තුනේම බන්ධන ශක්තිය මෞලයකට කිලෝ කැලරි 40 ක් පමණ වනවා. හයිඩ්‍රජන් බන්ධනයක බන්ධන ශක්තිය මෞලයට කිලෝ කැලරි 1 සිට 3 ක් පමණ වනවා. අළුතෙන් සොයාගත් බන්ධනයේ බන්ධන ශක්තිය මෞලයට කිලෝ කැලරි 45.8 ක් වනවා. මෙය විද්‍යාඥයින් විසින් සොයාගත් ශක්තිය වැඩිම බන්ධනයක් බවයි ඔවුන් කියන්නෙ.
මේ නිසාම මේ සොයාගැනීම ලෝකප්‍රකට Science නම් සඟරාවෙ පළ කරන්න අවස්ථාවක් ඔවුන් ලබාගෙන එය පළ කර තිබෙනවා.
ඔවුන්ට සහය පළ කරන ජර්මනියේ බහු අවයවික පිළිබඳ මැක්ස් ප්ලාන්ක් රසායනාගාරයේ විද්‍යාඥයින් පවසන්නේ ජලයේ පවා මෙවැනි බන්ධන ඇතිවිය හැකි නමුත්, එ්වා ඉතා සුළු වේලාවක් පැවතින්නට ඉඩ ඇති නිසා අධ්‍යයනය කිරීම අපහසු බවයි. නමුත් මෙය සත්තකින්ම රසායන විද්‍යාවේ බන්ධන පිළිබඳ නව දොරටුවක් ඇරීමක් ලෙස ඔවුන් හඳුන්වනවා.
සමහරවිට ඉදිරියේදී අපේ දරුවන් ඉගෙන ගන්නා විට නව බන්ධන වර්ගයක් පාඩම් පොත් වලට එන්න පුළුවන්.. නමුත් ශ්‍රී ලංකාවෙ එහෙම වෙයි කියලා හිතන්න අමාරුයි… මොකද අපි යාවත්කාලීන වීම අතින් තවමත් ඉන්නේ ගල් යුගයෙ…
මේ තියෙන්නේ ලින්ක් එක
https://www.livescience.com/new-chemical-bond-discovered.html?fbclid=IwAR22N6YncAKUl53IxVxgAR68mPdkFW8fCuznZBYQXs8Z0zm8WwbXxXJswEk
ආචාර්ය පියල් ආරියනන්ද, ජීව අකාබනික රසායන විද්‍යාව අංශයෙන් ඇමරිකාවේ ඩෙලවෙයා විශ්ව විද්‍යාලයෙන් ආචාර්ය උපාධිය ලබා වසර කිහිපයක් එහිම විද්‍යා පර්යේෂකයෙකු ලෙස සේවය කර, ජර්මනියේ BASF රසායන ආයතනයෙහි රසායනික උත්ප්‍රේරක සම්බන්ධයෙන් පර්යේෂණ කළ විද්‍යාඥයෙකි. හරිතාගාර ආචරණයට ප්‍රධාන දායකත්වයක් දක්වන කාබන් ඩයොක්සයිඩ් වායුව රසායනික සංයෝගවලට පරිවර්තනය කළහැකි රසායනික පර්යේෂණවලට ඉතා ඉහළ දායකත්වයක් දී ඇත.
ලංකාවට පැමිණි පසු Midas Safety ආයතනයෙහි පර්යේෂණ ප්‍රධානී වශයෙන් ද සහ පසුව MAS Holdings අනුබද්ධ Bodyline ආයතනයෙහි නවෝත්පාදන ප්‍රධානී වශයෙන් කටයුතු කළේය. ඉන්පසුව ශ්‍රී ලංකා පාර්ලිමේන්තුවේ අධ්‍යාපනය සහ මානව සම්පත් කළමණාකරණය පිළිබඳ ආංශික කාරක සභාවේ උපදේශක වශයෙන් කටයුතු කළ ඔහු, රටට වැඩදායී පනත් කිහිපයක් ගෙන ඒමට කටයුතු කළේය. ඉන් STEM අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පනත සහ ලිංගික අධ්‍යාපනය සම්බන්ධ පොත් සහ අධ්‍යාපනික ප්‍රකාශන පළ කිරීමේදී අනුගමනය කළ යුතු ක්‍රියාමාර්ග පිළිබඳ පනත් විශේෂී වේ.
රැකියාවට අමතරව ඔහු විද්‍යාත්මක Blog අඩවියක් ද, පුවත්පත් කිහිපයකටම විද්‍යාත්මක ලිපි පළකරන විද්‍යා ලේඛකයෙකි. දැනට ඔහු තිරසර නව්‍යකරණය පිළිබඳ උපදේශකවරයෙකු වශයෙන් ස්වාධීනව කටයුතු කරයි.