සාර්ථකව ඉංග්‍රීසි කතා කරමුද?

ඉංග්‍රීසි භාෂා දැනුම

හුඟක් අයට තියෙන ප්‍රශ්නයක්

ඉංග්‍රීසි කතා කිරීම

හුඟක් අයට තියෙන බයක්. 
ඉතින් මගෙ අදහස් ටිකකුත් කියන්න හිතුව.

මම පාසලේදී පමණක් නෙමෙයි, අමතර පංතියක් හරහාත් ඉංග්‍රීසි හොඳින් ඉගෙනගත්ත. ඔව්. මට සා. පෙළ වෙනකොට ඉතා හොඳින් ඉංග්‍රීසි ලියන්න හා කියවන්න පුළුවන්. නමුත්, මට කතා කරන්න ඉතාම අපහසුතාවයක් තිබ්බ. 
මම සිංහල සාහිත්‍ය සංගමයේදී, පාසල් රැස්වීම් වලදී සිංහලෙන් කතා පවත්වා පවා තිබුණත් ඉංග්‍රීසියෙන් කතා කිරීම මට හරිම අපහසුවක් තිබුණ. මම හරිම බය උනා. 

ඉතින් මම මොකද කළේ? ටික ටික කතා කරන්න ආරම්භ කළා. උසස් පෙළදී මම පාසලේ පංතියේ ඉංග්‍රීසි කාල පරිච්ඡේදයේදී ඉංග්‍රීසියෙන් කතාවක් කළා. ඒකත් එක්ක මටම තේරුනා මට කතා කරන්න පුළුවන් කියල. ටික ටික ප්‍රසිද්ධි‍යේ කතා කරන්න හුරු උනා. 
විශ්ව විද්‍යාලයේදී කථිකාචාර්ය වරු එක්ක කතා කරනකොට, ප්‍රශ්න අනහකොට, ප්‍රශ්න වලට උත්තර දෙනකොට තව තවත් හුරු උනා. 

මම රැකියාවට එනකොටත් හොඳින් මට ඉංග්‍රීසි කතා කළ හැකියි. රැකියාවේදී ඉංග්‍රීසි භාවිතය ඉතාම ඉහළයි. ඉතින් තව තවත් හැකියාව ඉහළ නංවා ගත්ත. අපි පිටරට අය එක්කත් සම්බන්ධතා පවත්වනවා. ඔවුන් එක්ක උනත් ඉතා පහසුවෙන් ඉංග්‍රීසියෙන් කතා කිරීමට පවා හැකියාව දැන් දියුණුයි.

ඉතින් මේ පහත දේවල් ටික කළොත් ඔයාලටත් හොඳින් බය නැතිව ඉංග්‍රීසි කතා කිරීමේ හැකියාව ලබා ගන්න පුළුවන්. 

අංක 1.

“අනිත් අය මට හිනා වෙයිද!”
“අනේ මට වරදීද!”
“වෙන අය මගෙ ගැන මොනව හිතයිද!”

ඔබත් මෙහෙම හිතන කෙනෙක්ද?

එහෙනම් මුලින්ම මේ සිතිවිල්ල ඉවත් කරගන්න. මොකද මේ සිතිවිල්ල එක්ක නම් සාර්ථකව ඉංග්‍රීසි කතා කිරීම සිහිනයක්ම පමණයි.
බය නැති කරගන්න. මේක තමා සාර්ථකව ඕනෑම භාෂාවක් කතා කිරීමට අවැසි වන මූලිකම හා ප්‍රධානතම අවශ්‍යතාවය.
තමන් ගැන විශ්වාසය ගොඩ නඟාගන්න. වැරදීමට බිය වෙන්න එපා. 
ඔබ පොඩි කාලයේදී එක පාරම නැගිටල දිව්වෙ ඇවිද්දෙ නෑ නේද? භාෂාවකටත් ඒක පොදුයි.
වෙන අයට පුළුවන් නම් ඇයි ඔබට බැරි?

“ඔව්. මට පුළුවන්. මම බය නෑ” 
එහෙම හිතන්න.

අංක 2.

සවන් දෙන්න, කතා කරන්න, කියවන්න, ලියන්න… මේ ටික ආපහු ආපහු කරන්න. 

අපේ කාලෙ ඉස්කෝලෙ ඉංග්‍රීසි පෙළ පොතක තිබ්බ ගීතයක කොටසක් මතක් උනා. 

Practice English everyday
Practice it at work and play.
You can do it on the train,
‍You can do it in the rain.

මේ දේවල් පුරුද්දක් කරගන්න.
ටිකක් අහගෙන ඉන්න, ටිකක් කතා කරන්න, ටිකක් කියවන්න, ටිකක් ලියන්න….
මේ දේවල් ටික හැමදාම කරන්න. ඒක පුරුද්දක් කරගන්න. 

Physiology වල කියනව කෙනෙක් එකම දේ දවස් 21ක් එක දිගටම කළොත් ඒක ඉබේම පුරුද්දක් වෙනව කියල. ඉතින් ඔයාලටත් මහන්සි වෙලා මේක කරන්න ඕනෙ දවස් 21යි. ඊට පස්සෙ ඒක ඉබේම සිද්ද වෙයි. 

අංක 3. 

ඇස් කණ් ඇරගෙන ඉන්න.

ඉංග්‍රීසි අපේ හතර වටේම. අන්තර්ජාලය, පුවත්පත්, පොත්, රූපවාහිනී තව හුඟක් තැන් වල.
ඉතින් වට පිට බලන්න, අහගෙන ඉන්න, කියවන්න. ඔබගේ වාග් මාලාව දියුණු කරගන්න. අනිත් අය කතා කරන හැටි, විවිධ දේ ලියල තියෙන හැටි නිරීක්ෂණය කරන්න.
ඔබටම නොදැනීම ඔබේ දැනුම දියුණු වෙයි. 

හුඟක් අය කියනව ඉංග්‍රීසි චිත්‍රපට, පුවත් බලන්න කියල. ඔව්. බලන්න, අහගෙන ඉන්න, පුවත්පත් / පොත් කියවන්න. ඒ හරහා ලොකු දෙයක් ඔයාලට එකතු කරගන්න පුළුවන්. 
(කරුණාකරල සිංහල සබ් එක්ක නම් ෆිල්ම් බලන්නෙපා, ඒ සබ් වල තියෙන ඒවායෙන් බාගෙට බාගයක් නොගැළපෙන ඒව තියෙන්නෙ. ඉංග්‍රීසි සබ් එක්ක බැලුවට කමක් නෑ, හැබැයි ඒවත් නැතිව බලනව නම් තමා හරියටම හරි.)

අංක 4.

මේක ඉංග්‍රීසි කතා කරන්න පහසු කරන පොයින්ට් එකක්. ප්‍රශ්න වලට උත්තර ප්‍රශ්නය තුළින්ම සොයා ගන්න.

සමහර ප්‍රශ්න තියෙනව, ඒවයෙ උත්තරේ තියෙන්නෙත් ඒ ප්‍රශ්නෙ ඇතුළෙමයි. ඉතින් ඒ වගේ ඒව පුරුදු වෙන්න, ඉගෙන ගන්න හරිම පහසුයි. එතකොට ඒ වගේ ප්‍රශ්නයක් කවුරුහරි ඇහුවොත් ඔයාට බය නැතිව පැනල උත්තර දෙන්න පුළුවන්. 

උදා:
Q. Did you go home?
A. ‍Yes. I did / No I didn’t.

Q. Can you do this?
A. Yes, I can.

ඉතින් බලන්න, ඉංග්‍රීසි කොච්චර ලේසිද?

අංක 5.

ඔබේ හොඳම මිතුරා ඔබගේ ප්‍රතිබිම්බයයි.

මුහුණ බලන කණ්ණාඩියෙන් ඔබට ඔබවම පේනව නේද?
අන්න එයා තමයි ඉංග්‍රීසි ඉගෙනගන්න ඔබට ඉන්න හොඳම සගයා.
එයත් එක්ක ඉංග්‍රීසි පුරුදු වෙන්න.
එයාගෙන් ඉංග්‍රීසියෙන් ප්‍රශ්න අහන්න.
එයාට ඉංග්‍රීසියෙන් කතා කරන්න.

මොකද කිව්වොත්, භාෂාවක් කතා කිරීම දියුණු කරගන්න තිබෙන හොඳම ක්‍රමය එම භාෂාවෙන් කතා කිරීමම තමයි.
මේ හරහා භාෂාව විතරක්ම නෙමෙයි, ඔබගේ ආත්ම විශ්වාසයත් ඉහළ යනවා.

කණ්ණාඩියකට කතා කිරීම, කෙනෙකුගේ ආත්ම විශ්වාසය ඉහළ නංවා ගන්න තිබෙන හොඳම ක්‍රමයක් ලෙස මනෝ වෛද්‍යවරුන් අර්ථ දක්වනවා.

අංක 6.

භාෂාවක් අපි ඉගෙනගන්නෙ වාක්‍ය එක්කනෙ. සිංහලත් අකුරු, වචන වලින් පස්සෙ අපි වාක්‍ය ඉගෙනගත්ත. ඉංග්‍රීසිත් එහෙමයි. 
ඔව්. මුලින් කතා කරනකොට වැකි කොටස් හරහා පමණක් හරි කතා කරල ඔයාගෙ කතා කරන්න තියෙන බය නැති කරගන්න. 

ඊට පස්සෙ වාක්‍ය වලින්ම කතා කරන්න පුරුදු වෙන්න. එතකොට තමා ඉංග්‍රීසි දැනුම දියුණු වෙන්න පටන් ගන්නෙ.

අංක 7.

කලබල වෙන්න එපා. ව්‍යාකරණ ගැන හිතන්නත් එපා.

බයත් එක්ක එන තව දෙයක් තමා කලබලය. කලබලේ කතා කරන්න යනකොට වචන කටට එන්නෙ නෑ, ගොත ගැහෙනව, හිර වෙනව.
කලබල වෙන්න එපා. අනිත් කෙනා ඔයාට සවන් දෙන්න ලෑස්ති වෙලා ඉන්නෙ. ඒ නිසා හෙමීට කල්පනාවෙන් හිතල බලල කතා කරන්න. මුලදි වචන අමුණන්න වෙන්න ඉඩ තියෙනව. කමක් නෑ. කලබල වෙන්න එපා. හෙමීට හිතල වචන ගලපල කතා කරන්න.
ව්‍යාකරණ වරදී කියල කතා කරන්න බය අය කොච්චර ඉන්නවද. ඒව හිතන්නෙපා. ව්‍යාකරණ තියෙන්නෙ භාෂාව පිළිවෙළක් කරන්න උනාට ව්‍යාකරණ නැති උනා කියල අනිත් මනුස්සයට ඔයා කියන දේ නොතේරී තියෙන්නෙ නෑ. ඉතින් ලොකුවට ව්‍යාකරණ ගැන හිතන්නෙපා කතා කරනකොට.

I’m attending a tuition class to learn English. 
I go class, learn English.

මේ දෙකෙන් කොයික කිව්වත් මොකද්ද මේ කියන්නෙ කියල තේරෙනව නේද?
එකේන් මම කියන්නෙ නෑ ව්‍යාකරණ ඉගෙනගත යුතු නෑ කියල. අනිවාර්යයෙන්ම ඉගෙනගන්න ඕනෙ. මොකද ඉංග්‍රීසි කියන්නෙත් පිළිවෙළකට සැකසුනු භාෂාවක්නෙ.

පොත් ලස්සන නැති උනත් Chapman English Grammar Book Series එක ඉංග්‍රීසි ව්‍යාකරණ ඉගෙනගන්න ඉතා හොඳ පොත් කට්ටලයක්. 

ව්‍යාකරණ ඉගෙන ගන්නකොට ඔයාට පුළුවන් ටික ටික ලස්සනට ඉංග්‍රීසි කතා කරන්න.

අංක 8.

ඉංග්‍රීසි පොත්, පුවත් පත් කියවීම හරහා දිනකට අලුත් වචන කිහිපයක් ඉගෙනගන්න.

වචන 10-15 ඕනෙ නෑ. වචන 2-3ක් උනත් ඇති. පොඩි කාලෙ ගාථා කට පාඩම් කළා වගේ වචන කටපාඩම් කරන්න යන්න එපා. ඒ වචන කිහිපය මතක තියාගන්න වාක්‍ය වලට දාල. වචනය නෙමෙයි, ඒකෙ භාවිතය මතක තියාගන්න, එතකොටයි ඒ වචනය ඔයාලටත් භාවිතා කරන්න පුළුවන් වෙන්නෙ, කතා කරනකොට ඒ වචනෙත් කටට එන්නෙ.

අංක 9.

අංක 8 කිව්වනෙ අලුත් වචන වල භාවිතය මතක තියාගන්න කියල. ඉතින් ඒව පාවිච්චි කරල කතා කරන්න. එතකොට ඒක අමතක වෙන්නෙ නෑ. ප්‍රායෝගික භාවිතය හරහා තමයි දෙයක් හොඳින්ම මතකයට යන්නෙ. 

ඔබම භාවිතා කරල කතා කරන්න, තවත් අයට කියල දෙන්න. ඔයාල දන්නවද, දෙයක් වෙන කෙනෙක්ට කියල දෙනකොට කියල දෙන කෙනා දෙපාරක් ඒක ඉගෙනගන්නව. එතකොට ඔක්කොම 3න් පාරක් ඔයා ඒ වචනෙ හා එහි භාවිතය ඉගෙනගෙන. 

අංක 10.

පුහුණු වෙන්න, පුහුණු වෙන්න, තව තවත් පුහුණු වෙන්න. 
ඔබේ ඉංග්‍රීසි දැනුම ඉතාම ඉහළ මට්ටමකට යනකම්ම පුහුණු වෙන්න.

Practice makes it Perfect කියල කියවනවනෙ.

හැම දේටම ශෝට් කට් හොයන මේ කාලෙ මේකටත් ශෝර්ට් කට් හොයන අය ඇති. නමුත් ඇත්ත නම් එහෙම ශෝට් කට් නෑ කිසිම දේකට. 

පුහුණු වෙන්න, දිගටම පුහුණු වෙන්න.

ලියන්න, කියවන්න, සවන් දෙන්න, කතා කරන්න. මේ 4 දිගටම කරන්න. 
ඔයා ඉක්මනටම ඉතාම දක්ෂ ඉංග්‍රීසි කථිකයෙක් වෙයි. 
හොඳටම ඉංග්‍රීසියෙන් ලියයි, කතා කරයි. 

ඒ දවස වැඩි ඈතක නෙමෙයි. 

ආපහු අර ගීත කොටස මතක් කරන්නම්.

Practice English everyday
Practice it at work and play.
You can do it on the train,
you can do it in the rain.

අදම, මේ දැන්ම ආරම්භ කරන්න.

ඔබට සුභ පැතුම්!!!

ඔබට සහයක් අවශ්‍ය නම් හැකි උදව්ව්වක් දෙන්න අපි සූදානම්.  පහළින් කමෙන්ට් එකක් දාල ගැටළු විමසන්න. පුද්ගලිකව විමසීමට අවශ්‍ය නම් (madhawa[at]engineer[dot]com) ඊ ලිපිනයට ලිපියක් එවන්න. 

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

%d bloggers like this: